බන්ධනාගාර කොමසාරිස්ගේ පැටිකිරිය හෙළිවෙයි ! තවත් සිරකරුවන් 57ක් නිදහස් කළ බවට චෝදනා ?

‘මේ පුද්ගලයෝ තමන්ගෙ ආයතන ඇතුළේ අධිරාජ්‍යයක් පවත්වාගෙන යනවා’

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින්,

“ස්වාමීනි… මේ සැකකරු ශ්‍රී ලංකාවේ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා. අධිකරණ නියෝග මත වරදකරු කරනු ලබන පුද්ගලයින්ට ජනාධිපතිවරයා විසින් පිරිනමන සමාව අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමයි මොහු අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ.

ස්වාමීනි… ඔහු ඔබතුමන්ලාගේ අධිකරණ බලයත් අවභාවිතයට ලක් කරලා තිබෙනවා.

ස්වාමීනි… මේ රටේ පොලිස්පතිවරයා පුද්ගලික ප්‍රහාරක බළකායක් පවත්වාගෙන ගොස් තමන්ට සතුරු හෝටලයකට පහරදී රිමාන්ඩ් භාරයට පත්වී මේ වන විට ඇප මත මුදාහැර තිබෙනවා. අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා ආගමන හා විගණන පාලකත් මේ වන විට රිමාන්ඩ් භාරයේ පසුවෙනවා. දැන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා. ස්වාමීනි.. මේ පුද්ගලයෝ තමන්ගේ ආයතන ඇතුළේ වෙන ම අධිරාජ්‍යයක් පවත්වාගෙන යනවා. ඒවායේ ඔවුන් සිංහාසනාරූඪ වෙලා ඔටුනු පැළඳ සිටිනවා. එවැනි තත්ත්වයක් තමා බන්ධනාගාරයේත් තියෙන්නේ,”යනුවෙන් සඳහන් කළේ ය.

‘අධිකරණ බලයට එල්ල කළ ප්‍රබල ප්‍රහාරයක්’

ඉන් අනතුරුව වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා, “ස්වාමීනි.. අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කළ අතුල තිලකරත්න නමැති විත්තිකරුවෙකුට අධිකරණය විසින් රුපියල් ලක්ෂ විස්සක දඩයක් නියම කර තිබෙනවා. එම දඩය නොගෙවීම නිසා එය වන්දියක් වශයෙන් අය කර ගන්නා ලෙස දන්වා එම පුද්ගලයාව අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කළා. නමුත් මෙම නඩුව ඉකුත්දා අනුරාධපුර මහාධිකරණයේ කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් දැනුම්දී තිබෙනවා මොහුට ජනාධිපති සමාව ප්‍රදානය කර නිදහස් කර තිබෙන බව. ස්වාමීනී… ඉකුත් වෙසක් දින පොදු සමාව ප්‍රදානය කර නිදහස් කළ රැඳවියන් 388 දෙනාගේ ලැයිස්තුවට මෙම පුද්ගලයාගේ නම ඇතුළත් වී නැහැ. ඒ වගේ ම වෙසක් දින පොදු සමාව ප්‍රදානය කිරීම සඳහා අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා ඉදිරිපත් කළ රැඳවියන් 36 දෙනාගේ ලැයිස්තුවේත් මේ තිලකරත්න නමැති පුද්ගලයාගේ නම ඇතුළත් වී නැහැ. එසේ නම් ස්වාමීනී මේක සිදුවුණේ කොහොම ද?

වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා, “ස්වාමීනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට බලය හිමි වී තිබෙනවා අධිකරණය මගින් වරදකරුවන් කෙරුණු පුද්ගලයින්ට සමාව ලබා දෙන්න. ඒ යටතේ ජනාධිපතිවරයාට තෝරා ගත් පුද්ගලයින්ට සමාව ලබා දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් වෙසක්, නත්තල් වැනි විශේෂ දිනවල රැඳවියන්ට පොදු සමාව ප්‍රදානය කිරීම සිදු කරනවා. එහිදී සිදුවන්නේ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා හරහා දිවයිනේ තිබෙන බන්ධනාගාරවලින් වාර්තා කැඳවනවා. පසුව ඒවා වර්ගීකරණය කර සමාව දිය යුතු රැඳවියන් පිළිබඳව අධිකරණ අමාත්‍යංශ ලේකම්ට ඉදිරිපත් කරන්නේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා. පසුව අධිකරණ අමාත්‍යංශයේ ලේකම් එම වාර්තාව ජනාධිපති ලේකම්ට යොමු කරනවා. මේක තමයි සාමාන්‍ය ක්‍රියා පටිපාටිය. ඒ යටතේ ඉකුත් වෙසක් දින සමාව දිය යුතු රැඳවියන් පිළිබඳ වාර්තාවක් කැඳවීමට අධිකරණ අමාත්‍යාශය කටයුතු කරනවා. ඒ අනුව දිවයිනේ පිහිටි බන්ධනාගාර 28කින් වාර්තා කැඳවා තිබුණා. අවසානයේදී සමාව දිය යුතු පුද්ගලයින් 388 දෙනෙකුගේ ලැයිස්තුවක් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අධිකරණ අමාත්‍යංශයේ ලේකම්ට යොමු කර තිබෙනවා,” අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා පැවසීය.

ස්වාමීනි මේ සැකකරු ඇතුළු බන්ධනාගාර නිලධාරීන් තමන්ගේ බලය අවභාවිත කරමින් තමයි මේ පුද්ගලයාට සමාව ප්‍රදානය කරලා නිදහස් කර තිබෙන්නේ. මේක ඉතා භයානක තත්ත්වයක් ස්වාමීනි. අපි අධිකරණය හමුවේ පුද්ගලයෙකු වරදකරු කරන්න කොයිතරම් මහන්සියක් දරනවා ද? දීර්ඝ නඩු විභාගයකින් පස්සේ තමයි පුද්ගලයෙක් අධිකරණය විසින් වරදකරු කරන්නේ. එවැනි ක්‍රියාදාමයකින් වරදකරුවන් කරන පුද්ගලයෙක්ව මේ සැකකරු රජ්ජුරුවෝ වගේ නිදහස් කරන්න කටයුතු කරනවා. ස්වාමීනි මේක අධිකරණ බලයට එල්ල කළ ප්‍රබල ප්‍රහාරයක්. මේ සිද්ධිය මාධ්‍යවලින් පළවීමෙන් පසුව විශාල ආන්දෝලනයක් ඇති වුණා. මොක ද නිදහස් කළ මේ පුද්ගලයා අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි කෙනෙක්. ජනාධිපතිතුමත් අනුරාධපුර ප්‍රදේශයේ කෙනෙක්. ඒ නිසා කිසියම් පෞද්ගලික හේතුවක් මත මේ නිදහස් කිරීම සිදුකළ බවට සමාජයේ ආරංචි පැතිරෙන්න ගත්තා. ඒ නිසා රජය මේ සම්බන්ධයෙන් වහා ම පරීක්ෂණයක් පවත්වන්න තීන්දු කළා,” යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියේ ය.

පසුගිය නත්තල් දිනයේ නීතියට පිටින් රැඳවියන් 57ක් නිදහස් කරලා

ඉන් අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා සිදු කර ඇති විමර්ශනවල ප්‍රගතිය ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට වාර්තා කළේ ය.

“ස්වාමීනි.. මේ සිද්ධිය සම්බන්ධයෙන් කෙටි කාලයක් තුළ අපි විශාල තොරතුරු ප්‍රමාණයක් අනාවරණය කර ගත්තා. එම පරීක්ෂණවලින් පෙනී ගොස් තිබෙනවා මේ ආකාරයෙන් සැකකරුවන් නිදහස් කිරීම දීර්ඝ කාලයක් තිස්සේ සිදුවී තිබෙන බව. 2024 වසරේ නත්තල් දින මේ ආකාරයෙන් සැකකරුවන් 57 දෙනෙකු නීතියට පරිබාහිරව නිදහස් කර තිබෙන බවට විමර්ශනවලින් කරුණු අනාවරණය වෙලා තිබෙනවා. ඊට අමතරව මෙම වසරේ නිදහස් දිනයේත් තවත් වරදකරුවන් 11 දෙනෙකු මේ ආකාරයෙන් නිදහස් කර තිබෙන බවට කරුණු හෙළි වී තිබෙනවා. නිදහස් කරන ලෙස නිර්දේශ කරන පුද්ගලයින් නිදහස් නොකොට බන්ධනාගාර අධිකාරීවරුන් තම අභිමතය පරිදි තමන්ට අවශ්‍ය පුද්ගලයින් නිදහස් කිරීමට කටයුතු කර තිබෙන බව අපට පෙනීගොස් තිබෙනවා. අධිකරණවලින් රුපියල් ලක්ෂ විස්ස විසිපහ දඩ නියම කළ පුද්ගලයින්වත් මේ ආකාරයෙන් නිදහස් කරලා. ස්වාමීනී .,. මෙවැනි නිදහස් කිරීම් පිළිබඳව අපි පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කරලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු උසස් බන්ධනාගාර නිලධාරීන්ගේ වත්කම් පිළිබඳවත් විමර්ශනයක් කරන්න කටයුතු කරනවා. මේක භයානක තත්ත්වයක්. ජනාධිපති සමාවට මුවාවෙලා මේ සැකකරු භයානක අපරාධකරුවන් මුදා හැරීමට කටයුතු කර තිබෙනවා. මේ සිද්ධියට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළේ, ජනාධිපති අතිරේක ලේකම් ප්‍රසන්න ඉන්ද්‍රජිත්. ඒ අනුව යි මෙම විමර්ශනය ආරම්භ වෙලා තිබෙන්නේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විශාල මහජන කැළඹීමක් හටගෙන තිබෙනවා,” යනුවෙන් සඳහන් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටියේ ය.

‘සැකකරු කටයුතු කළේ ජනාධිපති ලේකම් කාර්යාලයේ චක්‍රලේඛයකට අනුව’
ඉන් අනතුරුව සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන කුරුප්පු අධිකරණය හමුවේ කරුණු දක්වමින්, “ස්වාමීනි ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ චක්‍රලේඛයකට අනුව යි මෙම සැකකරු කටයුතු කර තිබෙන්නේ. වෙසක් දින හෝ නත්තල් දින නිදහස් කරනු ලබන රැඳවියන්ගේ නම් එවනු ලබන්නේ සෑහෙන කාලයකට පෙර යි. ඒ නම් ලැයිස්තු එව්වට පස්සේ ඒ කාලසීමාවේ ම තවත් පිරිසක් සමාව ලැබීමට සුදුසුකම් ලබනවා. අදාළ චක්‍රලේඛයට අනුව බන්ධනාගාර බලධාරීන්ට හැකියාව තිබෙනවා එසේ පසුව සුදුසුකම් ලබන පුද්ගලයින්ගේ නම් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කරන්න. එසේ එවනු ලබන නම් අර මුලින් එවන ලැයිස්තුවේ ඇතුළත් වන්නේ නැහැ. මේක ජනාධිපති කාර්යාලය විසින් නිකුත් කර තිබෙන චක්‍රලේඛයකට අනුකූලව සිදුවන දෙයක්. ස්වාමීනි… වැරදි පුද්ගලයෙක් නිදහස් කරලා තිබෙනව නම් ඒකට අධිකරණ අමාත්‍යංශයේ ලේකම් වගේ ම ජනාධිපති ලේකම්වරයා සැකකරුවන් ලෙස නම් කළ යුතු යි. මාගේ සේවාදායකයා නීතියට පටහැනිව කිසිදු රැඳවියෙකු මුදා හැර නෑ. මාගේ සේවාදායකයා මෙම විමර්ශනවලට පූර්ණ සහය දෙන්න කැමති යි. ඔහු මේ වන විට වැඩ තහනමට ලක්වී සිටිනවා. ඒ නිසා බන්ධනාගාරය තුළට යාමට ඔහුට හැකියාවක් නෑ. ඒ වගේම සාක්ෂිවලට බලපෑම් කිරීමටත් හැකියාවක් නෑ” යනුවෙන් සඳහන් කළ නීතිඥවරයා තම සේවාදායකයා ඕනෑ ම කොන්දේසියක් මත ඇපමත මුදා හරින්නැයි ඉල්ලා සිටියේ ය.

ඊට ප්‍රතිචාර දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් “ස්වාමීනි… විත්තියේ නීතිඥ මහතා විසින් මෙම සැකකරු විසින් නිකුත් කළ චක්‍රලේඛයක් අධිකරණයට ඉදිරිපත් කළා. ඒ චක්‍රලේඛයේ කිසිදු යොමු අංකයක් නැහැ. යොමු අංකයක් නැතිව චක්‍රලේඛයක් නිකුත් කරන්න පුළුවන් ද? ආයතන ප්‍රධානියෙකුට මෙයාකාරයෙන් කටයුතු කරන්න බැහැ,”යනුවෙන් සඳහන් කළේ ය.

මහේස්ත්‍රාත්ගේ නියෝගය

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම අවස්ථාවේදී සැකකරුට ඇප නියම කළහොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බැවින් සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළේ ය.

ඒ අනුව, සැකකරු හෙට (ජූනි 11) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා හෙට දින සැකකරු ස්ථිර මහේස්ත්‍රත් හමුවට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළේ ය.

සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන කුරුප්පු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයාට බන්ධනාගාරය තුළදී විශේෂ ආරක්ෂාවක් සපයන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලීමක් කළේ ය.

ඊට ප්‍රතිචාර දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්, “ඒක එයාගේ ගෙදර නේ. විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය වෙන්නේ නැහැ.” යනුවෙන් පැවසීය.

තම සේවාදායකයාට පාතාල ක්‍රියාකාරීන්ගෙන් තර්ජන පවතින හෙයින් ඔහුට විශේෂ ආරක්ෂාවක් සපයා දීම අවශ්‍ය බවත් මෙහිදී විත්තිය නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේ ය.

ඒ අනුව බන්ධනාගාරගත කළ සැකකරුට විශේෂ ආරක්‍ෂාව සපයා දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *